Wednesday, 3 September 2014

රස්සාව කරන ගමන් ඉගෙන ගන්න - ඉගෙන ගන්න ගමන් රස්සාවක් කරන්න.

පින්තූරය අන්තර්ජාලයෙන්

ඉගෙන ගැනීම නැතහොත් අධ්‍යාපනය ලැබීම අවසන් වන්නේ මර‍ණයෙන් පසුව බව ප්‍රචලිත කියමනකි. එලෙස මරණය දක්වාම ලබන්නා වූ අධ්‍යාපනය නැත්නම් ගැනීම ප්‍රධාන වශයෙන් ද්වි ආකාර වේ. එනම්, විධිමත් අධ්‍යාපනය හා අවිධිමත් අධ්‍යාපනය වශයෙනි. අධ්‍යාපනයේ ඇති විධිමත්-අවිධිමත් බව පිළිබඳවද විවිධ නිර්වචන ඇත. මෙහිදී අපගේ එකඟතාවය වඩාත් ඇත්තේ මතු කියවෙන නිර්වචනය කෙරෙහිය. එනම්, විධිමත් අධ්‍යාපනය යනු:

නිශ්චිත සුදුසුකම් මත තෝරා ගන්නා ලද කණ්ඩායමක්, නිශ්චිත කාල පරිච්ඡේදයකදී, නිශ්චිත ආයතනයකදී හෝ ආයතන පද්ධතියකදී, නිශ්චිත දැනුම ප්‍රමාණයක් ලබා ගැනීම හා එසේ ලබා ගත්තා වූ දැනුම නිශ්චිත ඇගයීමකට ලක් කොට නිශ්චිත සහතිකයක් ලබා දීමයි.

එසේනම් අවිධිමත් අධ්‍යාපනය යනු මෙහි ප්‍රති විරුද්ද අවස්ථාවයි. එනම්:

ඕනෑම අයෙකු, ඕනෑම වේලාවක් ගත කොට, ආයතනයකට සම්බන්ධ වී හෝ නොමැතිව ඕනෑම ආකාරයක දැනුමක් ලබා ගැනීම හා එම පුද්ගලයාට එම දැනුම ලැබී ඇති බවට ඇගයීමක් හා සහතික කිරීමක් නොමැති වීම අවිධිමත් අධ්‍යාපනයේ ඇති ලක්‍ෂණ වේ.

මෙම නිර්වචනයට අනුව ශ්‍රී ලංකාවේ පවත්නා තත්ත්වය විමසා බැලුවහොත්, වයස අවුරුදු 5 සම්පූර්ණ වීම (අදාල වර්ෂයට වර්ෂ 5 පෙර වර්ෂයේ පෙබරවාරී පළමුවෙනි දා සිට ‍ඊට පසු වර්ෂයේ ජනවාරි 31 දක්වා කාල පරිච්ඡේදයේ උපත ලද දරුවෙකු වීම) ප්‍රධාන සුදුසුකම වෙමින් අධ්‍යාපනය ලබන ආයතන තෝරා ගැනීම වැනි කාරණා වලට බලපාන්නා වූ අතිරේක සුදුසුකම් සපුරා ඇති දරුවන්, නිශ්චය කොට ඇති විෂය නිර්දේශයන්ගෙන් කියවෙන දැනුම ලබා ගැනීම හා වසර 11ක් අවසානයේ විභාගයකට හෙවත් ඇගයීමකට මුහුණ දී, සාමාන්‍ය පෙල සඳහා වූ අධ්‍යාපන පොදු සහතික පත්‍රය ලබා ගැනීම හා එම සුදුසුකම ප්‍රධාන සුදුසුකම වෙමින් හා වෙනත් අවෂේශ සුදුසුකම් මත තෝරා ගන්නා ලබන ආයතනයක, තෝරා ගන්නා ලද විශය නිර්දේශයක් යටතේ වසර දෙකක කාලයක් දැනුම ලබා  උසස් පෙල සඳහා වූ අධ්‍යාපන පොදු සහතික පත්‍රය ලබා ගැනීම ආදී ලෙස උපාධි සහතිකය, ඩිප්ලෝමා සහතික හෝ වෙනත් වෘත්තීය ප්‍රවීනතා සහතික පත්‍ර ලබා ගැනීම දක්වා මෙන්ම පශ්චාත් උපාධි සහතික ලබා ගැනීම ආදියත් විධිමත් අධ්‍යාපනයට අයත් වේ. මෙම ඕනෑම අවස්ථා සඳහා අමතරව දැනුම ලබා ගැනීම (ටියුෂන් වැනි) ද අයත් වන්නේ විධිමත් අධ්‍යාපනයටම වේ.

එසේම මෙයින් ගම්‍යවන අනෙක් සුවිශේෂී කරුණ වන්නේ විධිමත් අධ්‍යාපනයෙන් ලැබෙන්නේ නිශ්චිත මෙන්ම සීමිත දැනුම් ප්‍රමාණයක් බවයි. මෙම අවාසනාවන්ත තත්ත්වය යම්තාක් දුරකට හෝ මග හරවා ගැනීම සඳහා මෙම ආයතනවල ‘විෂය භාහිර ක්‍රියාකාරකම්’ යනුවෙන් විවිධ කාර්යයන් සංවිධානය කොට ඇති මුත්, පවත්නා තරඟකාරිත්වය හා වෙනත් විවිධ තත්ත්වයන් යටතේ එම දැනුම ලබා ගැනීමේ අවස්ථාද සීමා වී ඇත.
එසේනම්, විධිමත් අධ්‍යාපනයට අයත් නොවන කිසියම් ක්‍රමවේදයක් මත ලබා ගන්නා වූ හෝ ලැබෙන්නා වූ දැනුම අවිධිමත් අධ්‍යාපනය ලෙස සරලව නිර්වචනය කළ හැකිය. උදාහරණයක් ලෙස, රැකියාවක් කිරීම තුළින් ලබන්නා වූ දැනුම අයත් වන්නේ ද අවිධිමත් අධ්‍යාපනය යන කාණ්ඩයටයි.

ජීවිත කාලයේදී යම් අවස්ථාවකදී අවශ්‍යවන දැනිම ප්‍රමාණයක් ලෙස සලකා බැලුවහොත්, ජීවිත කාලය පුරාවටම 80%ක් අවස්ථාවලදී ප්‍රයෝජනවත් වන්නේ අවිධිමත් අධ්‍යාපනයෙන් ලබා ගන්නා වූ දැනුම බව සොයාගෙන ඇත. විධිමත් අධ්‍යාපනයෙන් ලබා ගත් දැනුමට වඩා අවශ්‍ය වන්නේ විධිමත් අධ්‍යාපනය මගින් ලබා ගත් සහතික බව ඔවුන්ගේ සොයා ගැනීමයි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන්නා වූ වයසේ සිටින්නවුන් තම කාලයෙන් 80%ට වඩා වැඩි කාලයක් යොදවන්නේ විධිමත් අධ්‍යාපනය ලබා සඳහා බව අප කවුරත් දන්නා සත්‍යයයි. ඉදිරි ජීවිතයේදී වඩාත්ම ප්‍රයෝජනවත් වන දැනුම ලැබෙන්නා වූ අවිධිමත් අධ්‍යාපන මාර්ගයයන්ට අපේ රටේ දරුවන්ට ඇති අවස්ථා ඉතා සීමිත වී තිබීම අවාසනාවන්ත තත්ත්වයකි. පාසල් යන වයසේ සිටින අයෙකුට කිසිම රැකියාවක නිරත වීමට නීතියෙන් අවසරද නොමැත. එනම් ‘ඉගෙන ගන්න ගමන් රස්සාවක් කරන්න’ අපේ රටේදී නම් නොහැක.
http://www.colombopage.com/archive_11B/Jan03_1325535481CH.php


එසේනම් ‘රස්සාව කරන ගමන් ඉගෙන ගැනීමට’වත් හැකිදැයි සොයා බලමු. අප ඉහතින් සාකච්ඡා කළ පරිදි රැකියාවක් කරද්දී ‘අවිධිමත් අධ්‍යාපනය’ ලැබීමේ කිසිම ගැටලුවක් නොමැත. නිර්වචනය ප්‍රකාරවම අවිධිමත් අධ්‍යාපනය යනු රැකියාවක් වැනි ක්‍රියාකාරකම් තුළින් ලබා ගන්නා වූ දැනුමයි. එසේනම් අප සලකා බැලිය යුත්තේ රැකියවක් කරන අතර ‘විධිමත් අධ්‍යාපනය’ ලබා ගැනීමේ අවස්ථා පිළිබඳවයි.

පුද්ගලික අංශයේ රැකියා නියුක්තිකයින්ට මේ අවස්ථාව හිමි වීම එම ආයතනයේ ප්‍රතිපත්ති මත තීරණය වන්නක් වේ. බොහෝ ආයතනවල විධායක මට්ටමේ නිලධාරීන්ට නම් විධිමත් අධ්‍යාපනය ලබා තව තවත් ‘අධ්‍යාපන සහතික’ ලබා ගැනීමේ අවස්ථා හිමි වී ඇති අයුරු අප නිරීක්‍ෂණය කර ඇත්තෙමු. එසේ වුවද පහල ශ්‍රේණිවල නියුක්තිකයින්ට ඇති අවස්ථා නම් විවාදාප්පන්නය.

එසේනම් රාජ්‍ය සේවයේ නියුක්තිකයින්ට ඇති අවස්ථා සලකා බලමු.

මේ සම්බන්ධව ඇති අවස්ථා පිළිබඳව යම් අදහසක් ආයතන සංග්‍රහයේ දොලොස්වන සහ පහලොස්වන පරිච්ඡේද අධ්‍යනය කිරීමෙන් අපට ලබා ගත හැකිය.  විශේෂයෙන් එම පරිච්ඡේදවල පහත දැක්වෙන වගන්ති වඩාත් අදාල වේ.
·         දොලොස්වන (XII - නිවාඩු) පරිච්ඡේදයේ;
o   14 වගන්ති - සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යන නිවාඩු
o   15 වගන්ති - වැටුප් රහිත මෙරට අධ්‍යන නිවාඩු
o   16 වගන්ති - විදේශ අධ්‍යයන (සහ/හෝ රැකියා) සඳහා වැටුප් රහිත නිවාඩු
o   17 වගන්ති - ඉපැයූ නිවාඩු
·         පහලොස්වන ( අධ්‍යයන, අභ්‍යාස හෝ රාජකාරි කටයුතු සඳහා පිටරට යාම) පරිච්ඡේදය
o   1 වගන්ති - අර්ථනිරූපනය
o   2 වගන්ති - අභ්‍යාස හා අධ්‍යයන වැඩසටහන්
o   3 වගන්ති - යෝග්‍යතාවය
o   4 වගන්ති - සම්පූර්ණ පඩි සහිත නිවාඩු සඳහා .... ගිවිසුම් හා බැඳුම්කර
o   5 වගන්ති - පඩි රහිත නිවාඩු සඳහා ... .... ගිවිසුම්
o   6 වගන්ති - ... ගෙවිය යුතු දීමනා
o   7 වගන්ති - යැපීම් දීමනාව - මාස 6ට අඩු
o   8 වගන්ති - යැපීම් දීමනාව - මාස 6ට වැඩි
o   9 වගන්ති - උණුසුම් ඇඳුම් දීමනා සහ අත්තිකාරම්
o   10 වගන්ති - ජනාධිපතිතුමාගේ/අග්‍රාමාත්‍යතුමාගේ අනුමැතිය
o   11 වගන්ති - (ගුවන්/මුහුදු) ගමන් පන්තිය
o   12 වගන්ති - (ගුවන්/මුහුදු) ගමන් මාර්ගය
o   13 වගන්ති - ... බඩුබාහිරාදිය ප්‍රවාහනය
o   14 වගන්ති - රක්‍ෂණය - ගුවන් අනතුරු
o   15 වගන්ති - වෛද්‍ය පරීක්‍ෂණ

රාජ්‍ය සේවයේ නියුක්තිකයින්ටද ‘විධිමත් අධ්‍යාපනය’ ලබා ගැනීමට අවස්ථා ඇති බව ‍පෙනී යයි. මෙම නීතිමය ප්‍රතිපාදන අධ්‍යනය කිරීමේ දී කැපී පෙනෙන ලක්‍ෂණය වන්නේ වැඩි අවධානය යොමුව ඇත්තේ විදේශීය අධ්‍යාපනය ලබා ගැනීම සම්බන්ධව බවයි. මෙරටදී අධ්‍යාපනය ලබා ගැනීම සඳහා වැටුප් සහිත නිවාඩු හිමි වන්නේ ඉතා සීමති අවස්ථාවන්හිදී පමණක් බවත් බොහෝ විට ලබා ගත හැක්කේ වැටුප් රහිත නිවාඩු බවත් මෙයින් කියවේ.


එසේම විධිමත් අධ්‍යාපනය ලැබීම සඳහා වන්නා වූ වියදම් රජය මගින් ලබා දීම පිළිබඳව මෙම පරිච්ඡේද මගින් පැහැදිළි කර ගත නොහැකි අතර වරින් වර ප්‍රකාශ කරන ලබන වෙනත් නීතිමය ප්‍රතිපාදන ඒ සඳහා පරිශීලනය කිරීමට සිදු වේ. 

Saturday, 16 August 2014

රජයේ නිලධාරීන්ගේ වැඩ පමණක් කරණ රජයේ නිලධාරීන්

කිසියම් රාජ්‍ය ආයතනයක් බිහි කරනු ලබන්නේ බොහෝ විට යම් සේවාවක් ලබා දීම පිණිසය. නොඑසේනම් යම් නිෂ්පාදනයක් කිරීම සඳහායි. එහෙත් අද සෑම රාජ්‍ය ආයතනයකම මානව සම්පතින් සැලකිය යුතු ප්‍රමාණයක් වෙන් කිරීමට සිදුව ඇත්තේ ඒ ඒ ආයතනයේ සේවය කරනු ලබන ‘රාජ්‍ය සේවකයින්ගේ’ වැඩ කිරීම සඳහාය. එසේ සිදුව ඇත්තේ එම ආයතන ප්‍රධානීන්ගේ අවශ්‍යතාවයක් නිසා නොව; එසේ සිදු කිරීමේ වගකීම නීති රීති මගින්ම ඔවුන් වෙත පැවරී ඇති බැවිනි.

උදාහරණයක් ලෙස, දාහත්වන ආණ්ඩුක්‍රම සංශෝධනයේ ඇති ප්‍රතිපාදන අනුව, 2009 පෙබරවාරි මස 20 දින නිකුත් කරන ලද අංක 1589/30 දරන ගැසට් පත්‍රයේ පළ කළ ‘රාජ්‍ය සේවා කොමිෂන් සභා - කාර්ය පටිපාටික රීති’ සංග්‍රයේ XIX පරිච්ඡේදය සලකා බලමු.
‘රජයේ නිලධරයන් සම්බන්ධයෙන් ලේඛන හා වාර්තා සකස් කිරීම’ නම් වූ මෙම පරිච්ඡේදයේ රාජ්‍ය ආයතනයක ප්‍රධානියා විසින්, තම ආයතනයේ සේවය කරන නිලධාරීන් අරඹයා පවත්වාගෙන යා යුතු ලේඛන පිළිබඳව දක්වා තිබේ.

සපයා ඇති ‘පරිශිෂ්ඨ’ ප්‍රකාරව මෙම ලේඛන අඛණ්ඩව හා යාවත්කාලීනව පවත්වාගෙන යා යුතු බව එහි සඳහන්ව ඇත.

පවත්වාගෙන යාය යුතු ලේඛනය
පරිශිෂ්ඨ අංකය
1.     පත් කිරීම් හා උසස් කිරීම් සම්බන්ධ ලේඛනය
15
2.     සේවයෙන් පහ කළ නිලධරයන් සම්බන්ධ ලේඛනය
16
3.     සේවයෙන් ඉල්ලා අස් වූ නිලධරයන් සම්බන්ධ ලේඛනය
17
4.     තනතුරු අත හැර ගිය නිලධරයන් සම්බන්ධ ලේඛනය
18
5.     වැඩ තහනම් කර ඇති හා අනිවාර්ය නිවාඩු ගන්වා ඇති නිලධරයන් සම්බන්ධ ලේඛනය
19
6.     විශ්‍රාම ගන්වනු ලැබූ නිලධරයන් සම්බන්ධ ලේඛනය
20
7.     කාර්ය මණ්ඩලයේ වෙනස් වීම්  පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අර්ධ වාර්ෂිකව සපයනු ලබන ලේඛනය
21
8.     සමස්ත කාර්ය මණ්ඩලය සම්බන්ධව පවත්වාගෙන යා යුතු ලේඛනය
22

ඉහත අංක 7 යටතේ දක්වා ඇති ‘කාර්ය මණ්ඩලයේ වෙනස් වීම්  පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අර්ධ වාර්ෂිකව සපයනු ලබන ලේඛනය’ හෙවත් අංක 21 පරිශිෂ්ඨය යනු ඊට ඉහතින් දක්වා ඇති ලේඛනයන්ගේ සංඛ්‍යාත්මක සාරාංශයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙත අර්ධ වාර්ෂිකව, එනම් සෑම වසරකම ජූනි මස 30 දිනට හා දෙසැම්බර් මස 31 දිනට අදාල තොරතුරු දින 20ක් ගෙවී යන්නට ප්‍රථමයෙන් යැවීමට යොදා ගන්නා ලේඛනය වේ.

එසේම ඉහත අංක 8 යටතේ දක්වා ඇති ‘සමස්ත කාර්ය මණ්ඩලය සම්බන්ධව පවත්වාගෙන යා යුතු ලේඛනය’ යනු ආයතන ප්‍රධානියා විසින් තම විෂය පථයට ඇතුලත් වන සියලුම රජයේ නිලධරයන් සම්බන්ධව අඛණ්ඩව හා යාවත්කාලීනව පවත්වාගෙන යා යුතු ලේඛනයක් වේ.

මීට අමතරව ඒ ඒ සේවාවන් යටතේ ජ්‍යේෂ්ඨතා ලේඛනයක් ද පවත්වා ගෙන යා යුතුය.

නිලධාරීන් විසින් වාර්ෂිකව සම්පූර්ණ කර ඉදිරිපත් කරනු ලබන කාර්ය සාධන ඇගයීම් පත්‍රිකා භාර ගෙන අදාල පරිදි ඇගයීම් සිදු කිරීමද ආයතන ප්‍රධානියාගේ වගකීම වන්නේය.

මේ ආකාරයට ලේඛන පවත්වාගෙන යාම සඳහා සෑම ආයතනයක් සඳහාම, එම ආයතනයේ කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය අනුව නිලධරයන් කණ්ඩායමක් අනිවාර්යයෙන්ම වෙන් කළ යුතු වේ. ඔවුන් ‘රජයේ නිලධාරීන්ගේ වැඩ පමණක් කරන නිලධාරීන්’ ලෙස හැඳින් වූවාට වැරදි නැත.

එහෙත් වර්තමාන යුගයට ගැලපෙන පරිදි තොරතුරු හා සංන්නිවේදන තාක්‍ෂණය යොදා ගනිමින් එම කාර්යයන් සඳහා මධ්‍යගත පරිගණක පද්ධතියක් භාවිතා කරන්නේ නම්, ‍‘රජයේ නිලධාරීන්ගේ වැඩ පමණක් කරන නිලධාරීන්’ ද අදාල ආයතනයේ සැබෑ පරමාර්ථ හා අරමුණු ඉටු කර ගැනීම සඳහා යොදා ගත හැකි වනු ඇත.


Tuesday, 5 August 2014

දේශපාලන හේතු මත කෙරෙන ස්ථාන මාරු


රාජ්‍ය සේවයේ නියුතු මාණ්ඩලික  හෝ අධීක්‍ෂණ මට්ටමේ නොවන ඕනෑම නිලධාරියෙකුට ඕනෑම ආකාරයක දේශපාලන කාර්යක නිරත වීමට නීතිමය අවසර තිබියදීත් දේශපාලන හේතු මත ස්ථාන මාරු කිරීමට ලක් වීම ගැන නිතරම කතා වෙනවා. ඒත් ‘දේශපාලන හේතු මත ස්ථාන මාරු’ කරන හැටි කිසිම තැනකින් හොයා ගන්න බැරි වුණා.

ආයතන සංග්‍රයේ iii වන පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම වෙන් වී ඇත්තේ රාජ්‍ය නිලධාරීන්ගේ මාරු කිරීම් සිදු කරන ආකාරය පැහැදිලි කිරීමටයි. දාහත්වන ආණ්ඩුක්‍රම සංශෝධනයේ ඇති ප්‍රතිපාදන අනුව, 2009 පෙබරවාරී මස 20 දින නිකුත් කරන ලද අංක 1589/30 දරන ගැසට් පත්‍රයේ පළ කළ ‘රාජ්‍ය සේවා කොමිෂන් සභා - කාර්ය පටිපාටික රීති’ සංග්‍රයේ ස්ථාන මාරු කිරීම් සම්බන්ධ XVIII පරිච්ඡේදය ආයතන සංග්‍රයේ අදාල පරිච්ඡේදයට වඩා සවිස්තරාත්මකව කරුණු දක්වා ඇත.

ස්ථාන මාරු කිරීමේ ආකාර හතරක් ගැන ඒවායේ කතා වෙනවා.
  1. වාර්ෂිකව කරනු ලබන ස්ථාන මාරු
  2. සේවා අවශ්‍යතා මත කරනු ලබන ස්ථාන මාරු
  3. විනය හේතු මත කරනු ලබන ස්ථාන මාරු
  4. රජයේ නිලධාරියන්ගේ ඉල්ලීම මත කරනු ලබන අන්‍යෝන්‍ය ස්ථාන මාරු (සුහද ස්ථාන මාරු)
සේවා අවශ්‍යතා මත කරනු ලබන ස්ථාන මාරු

මේ අතරින් දේශපාලන හේතු මත යම් කෙනෙක් ‘තූත්තුකුඩියට’ හෝ එවැනි ප්‍රදේශයකට මාරු කිරීමට අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනයට ගන්න වෙන්නේ ‘සේවා අවශ්‍යතා මත කරනු ලබන ස්ථාන මාරු’ වර්ගයයි. එහෙත් සේවා අවශ්‍යතා පදනම් කර ගනිමින් ස්ථාන මාරු කිරීම් කළ හැක්කේ පහත දැක්වෙන අවස්ථා වලදී පමණක් බවද මතක තබා ගත යුතුය.

  1. නිලධාරියාගේ සේවාව වර්තමාන සේවා ස්ථානයට තව දුරටත් අවශ්‍ය නොවන විටක
  2. වෙනත් ස්ථානය සේවා අවශ්‍යතාවයක් සම්පූර්ණ කර ගැනීම සඳහා රජයේ නිලධාරියෙකු හෝ අසාළ නිලධාරියාම අවශ්‍ය වී ඇති විටක
  3. නිලධාරියා තව දුරටත් සේවයේ යෙදීම එම ආයතනයේ පරිපාලනමය හේතු මත නුසුදුසු වන විටක

මෙලෙස ස්ථාන මාරු කිරීමට නම් ඉහත දැක්වූ අවශ්‍යතාවය සත්‍ය වශයෙන්ම ඇති වී තිබෙන බවටත්, එළඹෙන වාර්ෂික ස්ථාන මාරු කිරීම් සිදුවන තෙක් ප්‍රමාද කිරීමට හැකියාවක් නොමැති බවටත් පත්කිරීඹ් බලධරයා පුද්ගලිකවම සෑහීමට පත් විය යුතුය.
අවශ්‍යතාවය මත කෙටි දැනුම් දීමකින් පව මාරු කිරීම සිදු කළ හැකිය.

විනය හේතු මත කරනු ලබන ස්ථාන මාරු

පහත දැක්වෙන හේතුවක් නිසා ‘විනය හේතුමත කරනු ලබන ස්ථාන මාරු කිරීමකට’ මුහුණ දීමට නිලධාරියෙකුට සිදුවනු ඇත.

  1. නිලධාරියාට එරෙහිව පවත්වන ලද විනය පරීක්‍ෂණයක දඬුවම ලෙස ස්ථාන මාරු කිරීම සඳහන්ව ඇති විනය නියෝගයක් මත
  2. මූලික විමර්ශණයකින් අණාවරණය වී ඇති කරුණු මත, නිලධාරියා වැඩතහනමට ලක් නොකළ ද එම සේවා ස්ථානයේ තව දුරටත් රඳවා ගැනීම නොකළ යුතුව ඇති වි‍ටක
  3. මූලික විමර්ශණය පැවත් වීමට පෙරාතුව හෝ පවත්වාගෙන යන අතර තුර හෝ අණාවරනය වන කරණු මත හෝ උද්ගතව ඇති තත්වයන් මත තව දුරටත් එම ස්ථානයේ රඳවා ගැනීම පරීක්‍ෂණයට බාධාවක් විය හැකි විටක

නිලධාරීන්ගේ ඉල්ලීම මත සිදු කෙරෙන අන්‍යෝන්‍ය ස්ථාන මාරු (සුහද ස්ථාන මාරු)


මතු දැක්වෙන අවශ්‍යතාවයන්ට යටත්ව, නිලධාරීන් දෙදෙනෙකු හෝ වැඩි සංඛ්‍යාවක් එක්ව අන්‍යෝන්‍යව ස්ථාන මාරු ඉල්ලීම් පිළි ගෙන ස්ථාන මාරු නියෝග නිකුත් කිරීමට හැකියාව ඇත.

  1. අදාල රජයේ නිලධාරීන් එකම සේවයක හා ශ්‍රේණියක හෝ සමාන තනතුරුවල හෝ සේවයේ නියුතු අය වීම
  2. අදාල නිලධාරීන්ගේ ආයතන ප්‍රධානීන්ගේ එකඟතාවය ලැබී තිබීම
  3. අදාල නිලධාරීන් කවරෙකු හෝ විනය හේතු මත ස්ථාන මාරුවීම් ලැබ ඇත්නම් එම දඬුවම් කාලය අවසන් කොට තිබීම
  4. වර්තමාන සේවා ස්ථානයේ වසර දෙකක කාලයක් සම්පූර්ණ කර තිබීම


ස්ථාන මාරු සඳහා හෝ රාජ්‍ය නිලධාරීන් අතර සුහදතාවයක් තිබීම අගනේය.
මෙලෙස සඳහන් කළ කුමණ ආකාරයේ ස්ථාන මාරුවක් හෝ ලබාගෙන නිලධාරියෙක් ආයතනයෙන් නික්ම සති දෙකක් ඇතුළත එම නිලධාරීය සම්බන්ධ මතු දැක්වෙන සියළුම ලියකියවිලි නව ආයතනය වෙත යැවීමට කටයුතු කළ යුතුය.

  1. යාවාත්කාලීන කරන ලද චරියා සටහන සහිතය යාවත්කාලීන කරන ලද පෞද්ගලික ලිපිගොනුව
  2. අවසන් වැටුප් වර්ධකය ලබා දුන් දින සිට ස්ථාන මාරුවීම ක්‍රියාත්මක වූ දිනය දක්වා කාල පරිච්ඡේදය සඳහා, ඊළඟ වැටුප් වර්ධකය ලබා දීම පිළිබඳ ලිඛිත නිර්දේශ
  3. කාර්ය සාධන ඇගයීම් වාර්ථාව
  4. නිවාඩු විස්තර වාර්තාව
    1. පත්වීම් දිනයේ සිට විවේක නිවාඩු
    2. පවත්නා වර්ෂයේ අනියම් නිවාඩු
  5. නිවාඩු දුම්රිය බලපත්‍ර පිළිබඳ වාර්තාව
  6. වැටුප් විස්තර වාර්තාව
  7. ණය ශේෂ වාර්තාව
  8. සේවා කාලය තුළ කරන ලද විදේශ ගමන් පිළිබඳ වාර්තාව
  9. සහභාගි වූ අධ්‍යයන පාඨමාලා, වැඩමුළු හා විවිධ සම්මන්ත්‍රණ පිළිබඳ වාර්තාව
  10. නිලධාරියා සම්බන්ධ වෙනත් ලියකියවිලි

යම් නිලධාරියෙකුගේ ඉහත සඳහන් තොරතුරු පමණක් වුවද යාවත්කාලීනව පවත්වාගෙන යාම සරල හෝ පහසු කාර්යයක් නොවේ. නිලධාරීන් 10 දෙනෙකු පමණ සිටින ආයතනයක් සැලකුවද මේවැනි ‍’සේවා කොන්දේසි කාර්යයන්’ නිවැරදිව හා අංග සම්පූර්ණව සිදු කරන්නේ නම් අවම වශයෙන් නිලධාරීන් දෙදෙනෙක්වත් ඒ සඳහා යෙදවිය යුතුය. රාජ්‍ය නිලධාරීන් ගෙන් සියයට විස්සක් (20%) නිලධාරීන්ගේ රජකාරි ඉටු කිරීම සඳහා පමණක් සේවයේ යෙදවීමට සිදුව තිබේ. මේ කාර්යයන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදා ගන්නේ නම් මෙම ප්‍රමාණය 1% පමණ දක්වා අඩු කර ගැනීමට හැකි වනු ඇත.



තූත්තුකුඩියට මාරු කිරීම

“ඕනෙ තූත්තුකුඩියකට මාරු කරන්න කියන්න, මම වැඩ කරන්නේ මගේ හෘද සාක්කියට එකඟව. ඔය කියන කියන දේවල් කරන්න මම බැඳිලා නෑ. අන්තිමට ඔඩිට්ලට උත්තර දෙන්න වෙන්නේ මට. පෙන්ෂන් එකත් නැතුව ගෙදර යන්නයි වෙන්නේ ඕව කළාම.”


නිතරම අහන්න නොලැබුනත් ඉඳ හිට හෝ මෙවැනි සංවාද රාජ්‍ය සේවය ආශ්‍රිතව අසන්නට ලැබේ. එක්කෝ, තමන්ට කිරීමට පැවරුන රාජකාරිය ඉටු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන අදාල නීති-රෙගුලාසි ප්‍රකාරව නොමැති අවස්ථාවන්හිදී හෘද සාක්‍ෂියට අනුව එම රාජකාරිය ඉටු කිරීම නීති විරෝධී බව තීරණය කරන නිලධාරියෙක් අවංකම මෙසේ පවසනු ඇත. නැත්නම්, තමන්ට පැවරුණ රාජකාරිය ඉටු කිරීම මගින් තමන් ප්‍රිය කරන අවස්ථාවක් හෝ තත්වයක් ගිලිහී යාම හෝ අහිමි වීම දරා ගැනීමට නොහැකි නිලධාරියෙක් එම රාජකාරිය නොකර සිටීම සඳහා ප්‍රමාණවත් නීති ප්‍රතිපාදන සොයන අතරේ පවසන උදම් වැකියක් වන්නටත් පුළුවන. කෙසේ වුවත් ආණ්ඩුවේ රාජකාරි කරන සෑම අයෙකුම ‘ස්ථාන මාරු කිරීම් වලට යටත් බව’ මෙම නිලධාරීන් දෙන්නාම දන්නා බව මෙයින් පැහැදිලිය.

ආයතන සංග්‍රයේ iii වන පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම වෙන් වී ඇත්තේ රාජ්‍ය නිලධාරීන්ගේ මාරු කිරීම් සිදු කරන ආකාරය පැහැදිලි කිරීමටයි. රාජ්‍ය නිලධාරියෙක් ස්ථාන මාරු කරනවා යන්නෙන් අදහස් කරන්නේ, සාමාන්‍ය පරිදි සේවය වාර්තා කරන ස්ථානය, යම් දිනක සිට වෙනස් කිරීමයි. එසේ වුවද කිසියම් හදිසි අවශ්‍යතාවයක් නිසා කෙටි කාලයක් සඳහා වෙනත් ස්ථානයක සේවයට වාර්තා කිරීමට හා එය අවසානයේ තම සුපුරුදු සේවා ස්ථානයට වාර්තා කිරීමට සිදුවන ආකාරයේ අවස්ථා ස්ථාන මාරු කිරීම් ලෙස සලකනු නොලැබේ. දාහත්වන ආණ්ඩුක්‍රම සංශෝධනයේ ඇති ප්‍රතිපාදන අනුව, 2009 පෙබරවාරී මස 20 දින නිකුත් කරන ලද අංක 1589/30 දරන ගැසට් පත්‍රයේ පළ කළ ‘රාජ්‍ය සේවා කොමිෂන් සභා - කාර්ය පටිපාටික රීති’ සංග්‍රයේ ස්ථාන මාරු කිරීම් සම්බන්ධ XVIII පරිච්ඡේදය ආයතන සංග්‍රයේ අදාල පරිච්ඡේදයට වඩා සවිස්තරාත්මකව කරුණු දක්වා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීමේ බලය රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු වන්නේය. අවස්ථාවෝචිත පරිදි 56 හා 57 ව්‍යවස්ථාවන්ගේ ප්‍රතිපාදනයන් ප්‍රකාරව මෙම බලය යම් කමිටුවක් වෙත හෝ රජයේ නිලධාරියෙක් වෙත පැවරීමට හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාල කොටස් මෙසේ උපුටා දැක්විය හැකිය. 

  • 54. (1) ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන ...... රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් විය යුතු අතර,
  • 55. (1) අමාත්‍ය මණ්ඩලය විසින්, රජයේ නිලධරයන් පත්කිරීම, උසස් කිරීම, මාරු කිරීම, ඔවුන් විෂයෙයහි  විනය පාලනය සහ ඔවුන් සේවෙයන් පහ කිරීම ඇතුළු, රජයේ නිලධරයන්ට අදාළ සියලු ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධෙයන් විධිවිධාන සැලැස්විය යුත්තේ ය.
  • 55. (3) ආණ්ඩුකම වවස්ථාවේ විධිවිධානවලට යටත්ව, රජයේ නිලධරයන් පත්කිරීම, උසස් කිරීම, මාරු කිරීම, ඔවුන් විෂයෙයහි විනය පාලනය සහ ඔවුන් සේවෙයන් පහ කිරීම රාජ සේවා කොමිෂන් සභාව වෙත පැවෙරන්නේ ය.
  • 56.(1) අමාත්‍ය මණ්ඩලය විසින් නිශ්චිතව සඳහන් කරනු ලබන රාජ්‍ය සේවෙය් යම් නිලධර ගණවලට අයත් නිලධරයන් පත් කිරීමේ, උසස් කිරීමේ, ස්ථාන මාරු කිරීමේ, ඔවුන් විෂයෙයහි විනය පාලනය කිරීමේ සහ සේවෙයන් පහ කිරීමේ බලතල කොමිෂන් සභාව විසින් පත් කරනු ලබන කොමිෂන් සභාවේ  සාමාජිකයන් නොවන තැනැත්තන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් වෙත කොමිෂන් සභාව විසින් පවරනු ලැබිය හැක්කේ ය.
  • 57.(1) අමාත්‍ය මණ්ඩලය විසින් නිශ්චිතව නියම කරන යම් ගණයක රජෙය් නිලධරයන් පත් කිරීමේ, උසස් කිරීමේ, ස්ථාන මාරු කිරීමේ, ඔවුන් විෂයෙයහි විනය පාලනය කිරීමේ සහ සේවෙයන් පහ කිරීමේ බලතල කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබිය හැකි යම් කොන්දේසි හා කාර්ය පටිපාටිවලට යටත්ව කොමිෂන් සභාව විසින් රජයේ නිලධරයකුට පවරා දෙනු ලැබිය  හැක්කේ ය.
  • 61ඊ. මේ පරිච්ඡේදයේ කාර්ය සඳහා “රජයේ නිලධරයා” යන්නට යුද හමුදා, නාවුක හමුදා හෝ ගුවන් හමුදා සාමාජිකයකු හෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් පත් කරන ලද මැතිවරණ කොමිෂන් සභාෙව් නිලධරයකු හෝ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත් කරන ලද උපෙල්ඛනගත රජයේ නිලධරයකු හෝ ඇතුළත් නොවන්නේ ය.
මේ අනුව හා රාජ්‍ය සේවා කොමිෂන් සභා - කාර්ය පටිපාටික රීති අනුව අප තේරුම් ගත යුත්තේ සෑම රජයේ නිලධාරියෙක්ම ස්ථාන මාරු කිරීම් වලට යටත් බවය. ඉහත් සඳහන් කළ නීති ප්‍රතිපාද ප්‍රකාරව මෙම ස්ථාන මාරු කිරීම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝ එහි බලය ‘අභිනියෝජනය’ කිරීමට පත් කළ බලධරයෙක් විසින් පමණක් දැරිය යුතුය.

රාජ්‍ය නිලධාරීන් ගේ ස්ථාන මාරු කිරීමේ  අරමුණු ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කළ හැකිය. එනම් රජයේ අවශ්‍යතාවයන් හා රාජ්‍ය නිලධාරියාට පෞද්ගලිකව වාසිදායක අවශ්‍යතාවයන් ලෙසය. 

රජයේ අවශ්‍යතාවයන්:
  1. ආයතනයක පවත්නා පුරප්පාඩු පිරිවීම
  2. ආයතනයක පරිපාලන අවශ්‍යතා සපුරා ලීම
  3. ආයතනයේ කාර්යක්‍ෂමතාව හා ඵලදායීතාව ප්‍රවර්ධනය කිරීම
  4. විනයානුකූල ක්‍රියාමාර්ගයක අවශ්‍යතා ඉටු කිරීම
  5. විනය නියෝගයන් ක්‍රියාත්මක කිරීම

රාජ්‍ය නිලධාරියාට පෞද්ගලිකව වාසිදායක අවශ්‍යතාවයන්:
  1. නිලධාරියාට පුළුල් ක්‍ෂේත්‍රයක අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම
  2. නිලධාරියාගේ වෘත්තීය සංවර්ධනයට හා හැකියාවන් ප්‍රවර්ධනයට අවස්ථාව සලසා දීම
  3. නිලධාරියාගේ පෞද්ගලික දුෂ්කරතාවයන්ට සහන සලසා දීම

මෙයින් ‘සේවා අවශ්‍යතා මත කරනු ලබන ස්ථාන මාරුවක්’ ලෙස හෝ ‘විනය හේතුමත කරනු ලබන ස්ථාන මාරුවක්’ ලෙස ඉහත සඳහන් කළ තූත්තුකුඩියට ස්ථාන මාරුව හිමි විය හැකිය. එහෙත් සුහද ස්ථාන මාරු රජයේ නිලධාරියට පෞද්ගලිකව වාසිදායක ස්ථානමාරු ආකාරයක් වන අතර වාර්ෂික ස්ථාන මාරු දෙයාකාරයටම සිදුවිය හැකිය.

වාර්ෂික ස්ථාන මාරු

කොම්ෂන් සභාව හෝ එහි බලය අභිනියෝජනය කරනු ලබන බලධරයා විසින් හෝ වාර්ෂිකව ස්ථාන මාරු කිරීම් සඳහා කටයුතු කළ යුතු වන්නේය. විශේෂයෙන්ම නිලධරයෙකු කිසියම් සේවා ස්ථානයක අධික කාලයක් සේවය කිරීමෙන් ඇතිවිය හැකි අනිසි ප්‍රතිඵල අවම කර ගැනීම සඳහාත්, වඩාත් පහසුකම් හා ‘නීත්‍යානුකූල’ අමතර ප්‍රථිලාභ සෑම දෙනාටම සමසේ හිමි කර දීම සඳහාත්, නිලධාරීයාට වැඩි ක්‍ෂේත්‍ර ප්‍රමාණයක අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහාත් වාර්ෂික ස්ථාන මාරු සිදු කෙරේ.

අමාත්‍යංශ/දෙපාර්තමේන්තු වැඩ ගණනක් අතර ස්ථාන මාරු ලැබිය හැකි ඒකාබද්ධ සේවාවන් සඳහා ‘ඒකාබද්ධ සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා’ විසින් ද ඒ ඒ අමාත්‍යංශය හා දෙපාර්තමේන්තු සඳහා සිවිශේෂී වූ සේවාවන් සඳහා ඒ ඒ සේවාවන්ගේ අභිනියෝජන බලධාරීන්ද වාර්ෂික ස්ථාන මාරු සඳහා නියමිත කාල සටහන පරිදි කටයුතු කළ යුතුය. ඇත්තවශයෙන්ම කාර්ය පරිපාටික නීති වල සඳහන්ව ඇත්තේ ‘... හැකි සෑම ප්‍රයත්නයක්ම දැරිය යුතු වන්නේය’ යනුවෙනි. එසේම ඒවා ‘යුක්තිය ඉටුවීමට බාධාවක් නොවන ආකාරයෙන්’ සිදුවිය යුතු බවය. එබැවින් තූත්තුකුඩියට මාරු කිරීම සඳහා මෙම වාර්ෂික ස්ථාන මාරු යොදා ගැනීම පහසු නොවනු ඇත.

වාර්ෂික ස්ථාන මාරු සඳහා කරුණු කාරණා රාශියක් සලකා බැලීමට ඇති නිසාවෙනුත්, බොහෝ පිරිසකගේ ස්ථාන මාරු වීමේ හා ‘මාරු නොවී සිටීමේ’ අවශ්‍යතාවයනුත් සලකා බැලීමට ඇති බැවින්, ඒ ඒ සේවාවන් සඳහා වෙන වෙනම ‘ස්ථාන මාරු මණ්ඩල’ නමින් ප්‍රසිද්ධ ‘වාර්ෂික ස්ථාන මාරු කමිටු’ පිහිටු විය යුතුය. කිසියම් අභිනියෝජන බලධාරියෙකුට යම් සේවාවක් යටතේ සලකා බැලීමට ඇත්තේ 25 දෙනෙකුට වඩා අඩු සංඛ්‍යාවක් නම් වෙනම කමිටුවක් පත් නොකර වුවද කටයුතු කළ හැකිය. කෙසේ වුවද ස්ථාන මාරු කමිටුවක් පත් කළ යුත්තේ පහත දැක්වෙන සංයුතිය පරිදිය.
  1. අදාල ආයතනයේ නියෝජ්‍ය ප්‍රධානියෙක් (හෝ නොමැති අවස්ථාවක ජ්‍යේෂ්ඨතම කළමණාකරන සහකාර ප්‍රධාන)
  2. අදාල ආයතනයෙන්, ආයතන කටයුතු භාර ජ්‍යේෂ්ඨ නිලධාරියෙක්
  3. අදාල සේවාවේ තනතුරු සංඛ්‍යාවෙන් 15% කට වැඩි නිලධාරීන් සංඛ්‍යාවක් සාමාජිකත්වය දරන සෑම වෘත්තීය සමිතියකින්ම එක් නියෝජිතයෙකු බැගින්

මෙම ස්ථාන මාරු කමිටුවට පහත දැක්වෙන ආකාරයේ ස්ථාන මාරු සම්බන්ධව කටයුතු කළ නොහැකි වේ.
  1. අභ්‍යන්තර ස්ථාන මාරු (අභ්‍යන්තර අනුයක්ත කිරීම්)
  2. විනය නියෝගයක් මත හෝ විනයානුකූල ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවයක් සඳහා කරන ස්ථාන මාරු
  3. සේවා අවශ්‍යතා සඳහා කරනු ලබන ස්ථාන මාරු
  4. සුහද ස්ථාන මාරු

මෙයින් අවබෝධ කර ගත හැකි කරුණක් වන්නේ මෙවැනි ආකාරයක ස්ථාන මාරුවක් සඳහා වාර්ෂික ස්ථාන මාරු සිදුවන තුරු නොසිට ඕනෑම අවස්ථාවක සිදු කළ හැකි බවයි.

වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම සඳහා අභිනියෝජන බලධරයා විසින් ‘වාර්ෂිකව’ ස්ථාන මාරු ප්‍රතිපත්තිය හා පටිපාටි ප්‍රකාශයට පත් කළ යුතුය. මෙම ප්‍රතිපත්තිය හා පටිපාටි සකස් කිරීමේ දී මතු දැක්වෙන කරුණු විශේෂයෙන් සැලකිල්ලට භාජනය කළ යුතුය.
  1. එකම සේවා ස්ථානයක සේවා කාලය
  2. සේවා ස්ථානවල ඇති සුවිශේෂී පහසුකම් හා දුෂ්කරතා
  3. සේවා ස්ථානවල ඇති ‘නීත්‍යානුකූල’ ප්‍රතිලාභ හා වරප්‍රසාද
  4. නිලධාරියගේ හෝ පවුලේ සාමාජිකයන්ගේ සුවිශේෂී අවශ්‍යතා
  5. එකම සේවා ස්ථානයක හෝ එකම රාජකාරියක දීර්ග කාලීනව සේවය කිරීම හේතුවෙන් සිදුවිය හැකි විෂමාචාර
  6. දැනුම හා කුසලතා පුළුල් කර ගැනීමට නිලධාරීන්ට අවස්ථාව සැලසීම
  7. ආයතනවල රාජකාරී බාධාවකින් තොරව ඉටු කර ගැනීම සඳහා අවස්ථාව උදා කර ගැනීම

මාරු මණ්ඩල පත් කර ස්ථාන මාරු ප්‍රතිපත්තිය හා පටිපාටි ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අභිනියෝජිත බලධරියා විසින් ස්ථාන මාරු සඳහා අයදුම් පත්‍ර කැඳවිය යුතුය. මෙහිදී අදාල සේවයේ සෑම නිලධාරියෙකු අයදුම් පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ ද නැතිනම් ස්ථාන මාරු අපේක්‍ෂා කරන නිලධාරී පමණක් ද යන්න පැහැදිලව සඳහන්ව නොමැති වුවත් ඉහත දැක්වූ කරුණු අනුව කටයුතු කිරීම සඳහා සෑම නිලධාරියෙකුගේම අදාල තත්වයන් මාරු මණ්ඩලය විසින් සලකා බැලිය යුතු වේ.

මෙසේ සලකා බලා එළඹෙන තීරණයන් ප්‍රකාරව ස්ථාන මාරු කමිටුව විසින් වාර්ෂික ස්ථාන මාරු සැලැස්ම සකස් කොට අභිනියෝජිත බලධරායාට බාර දිය යුතු අතර, ඔහු විසින් එය ප්‍රකාශයට පත් කළ යුතුය. එම සැලැස්මේ සඳහන් පරිදි සිදු කරනු ලබන ස්ථාන මාරු කිරීමක් සම්බන්ධව යම් නිලධාරියෙක් අතෘප්තිමත් වී ඇත්නම් ඒ සම්බන්ධව අභියාචනා කිරීමේ අවස්ථාව එම නිලධාරීන් සතුය. මෙසේ කරනු ලබන අභියාචනා සමාලෝචනය කර  සුදුසු ක්‍රියාමාර්ග යෝජනා කිරීම සඳහා ‘වාර්ෂික ස්ථාන මාරු සමාලෝචන කමිටු’ අභිනියෝජිත බලධරයා විසින් පත් කළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාල ප්‍රතිපාදන මෙසේ දක්වා ඇත.
  • 58. (1). 56 වැනි වවස්ථාව හෝ 57 වැනි ව්‍යවස්ථාව යටෙත්, යම් කමිටුවක් හෝ නිලධරයකු හෝ විසින් තමා සම්බන්ධෙයන් කරන ලද උසස් කිරීමේ හෝ ස්ථාන මාරු කිරීමේ හෝ සේවෙයන් පහ කිරීමේ යම් නියමයකින් හෝ විනය කාරණයකට සම්බන්ධ වෙනත් යම් නියමයකින් අතෘප්තියට පත් යම් රජෙය් නිලධරයකු විසින්, එම නියමයන්ට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට, අභියාචනයක් විභාග කිරීම සහ තීරණය කිරීමට අදාළ වූ කාර්ය පටිපාටිය සහ අභියාචනයක් විභාග කර නිම කිරීමට නියමිත කාලය සම්බන්ධෙයන් කොමිෂන් සභාව විසින් කලින් කල සාදනු ලබන රීතිවලට අනුකූලව කොමිෂන් සභාව වෙත අභියාචනය කළ හැක්කේ ය.
  • 58. (2) එවැනි අභියාචනයක් කරනු ලැබූ විට, ඒ අභියාචනය කර ඇත්තේ යම් නියමයකට විරුද්ධව ද, ඒ නියමය සුදුසු යැයි කොමිෂන් සභාවට පෙනී යන පරිදි වෙනස් කිරීමේ, මඳ වශෙයන් වෙනස් කිරීමේ, පතාදිෂ්ඨ කිරීමේ හෝ ස්ථීර කිරීමේ හෝ ඒ සම්බන්ධෙයන් විධාන දීමේ හෝ වැඩිදුර හෝ වෙනත් පරීක්ෂණයක් පවත්වන ලෙස නියම කිරීමේ බලය කොමිෂන් සභාවට  ඇත්තේ ය.

අභියාචනාද සලකා බලා අවසාන ස්ථාන මාරු නියෝග, ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙමින් නිකුත් කළ යුතුය. වාර්ෂික ස්ථාන මාරු හිමි වූ නිලධාරීන් සිටින් ආයතන ප්‍රධානීන් ඔවුන් අදාල දිනයේ දී නව සේවා ස්ථානයේ සේවයට වාර්ථා කිරීමට හැකිවන අයුරින් නිදහස් කළ යුතුය. අනුප්‍රාතික නිලධාරියා පැමිණෙන තෙක් නොසිට අදාල රාජකාරි ආවරණය කිරීම සඳහා සුදුසු අභ්‍යන්තර වැඩ පිළිවෙලක් යොදමින් තම නිලධාරියා නිදහස් කිරීමට වගබලා ගත යුතුය. නව සේවා ස්ථානයේ නියමිත දිනයේ සේවයට වාර්ථා කිරීම නිලධාරියාගේ වගකීම වන්නේය. මුදා හැරීමෙන් පසුව සේවයට වාර්ථා නොකළේ නම් සේවය හැර ගියා සේ සලකා කටයුතු කරනු ඇත.

වාර්ෂික ස්ථාන මාරු කිරීමේ කාර්ය වඩාත් විධිමත් කිරීම සඳහා ඊට අදාල කටයුතු සිදු කළ යුතු දින වකවානු පවා රීථී මගින් හඳුන්වා දී ඇත. එම කාලසටහන මෙසේය.

රාජ්‍ය සේවයේ වාර්ෂික ස්ථාන මාරු කිරීම් කාල සටහන
රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති සංග්‍රයේ  XVIII පරිච්ඡේදයේ
අවසන් දිනය
ජූනි
ජූලි
අගෝ
සැප්
ඔක්
ජන
#
වගන්තිය
කාර්යය
1
15
30
31
10
31
15
29
15
31
1
1
198
අභිනියෝජිත බලධාරයා වාර්ෂික ස්ථාන මාරු කමිටු පිහිටුවීම
X










2
202
ස්ථාන මාරු ප්‍රතිපත්ති හා පරිපාටි ප්‍රකාශයට පත් කිරීම

X









3
204
වාර්ෂික ස්ථාන මාරු සඳහා අයදුම් පත්‍ර කැඳවීම


X








4
204
රාජ්‍ය නිලධරයා අයදුම් කිරීම



X







5
205
අයදුම් පත්‍ර ස්ථාන මාරු කමිටුව වෙත භාර දීම




X






6
207
කමිටු යෝජනා අභිනියෝජිත බලධාරයාට භාර දීම





X





7
208
යෝජිත ස්ථාන මාරු සැලැස්ම ප්‍රකාශ කිරීම






X




8
210
සමාලෝචන කමිටු පිහිටු වීම






X




9
208
අතෘප්තිමත් නිලධාරීන් කරුණු ඉදිරිපත් කිරීම



(උපරිම දින 14යි)
X



10
211
සමාලෝචන කමිටු නිර්දේශ භාර දීම








X


11
213
අවසාන ස්ථාන මාරු සැලැස්ම ප්‍රකාශ කිරීම









X

12
213
ස්ථාන මාරු ක්‍රියාත්මක වීම









 
X
ඉතා විධිමත්ව හා පැහැදිලිව අදාල ප්‍රතිපාදන හා පැහැදිලි කිරීම් මෙම නීති-රීථි මගින් හඳුන්වා දී තිබුණද සේවාවන් රාශියක ලක්‍ෂ සංඛ්‍යාත නිලධාරීන් සංඛ්‍යාවක් සඳහා, නිර්ණායක රාශියක් මත පදනම්ව මෙම වාර්ෂික ස්ථාන මාරු කිරීම පහසු කාර්යයක් නම් නොවේ. එබැවින්ම මේ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ සහාය ලබා ගැනීමට වහාම කටයුතු කිරීම අදාල බලධාරීන්ගේ වගකීම වන්නේය.