Showing posts with label මුදල් රෙගුලාසි. Show all posts
Showing posts with label මුදල් රෙගුලාසි. Show all posts

Saturday, 2 August 2014

රාජ්‍ය සේවයේ ඉන්නේ නුසුදුස්සන්ද....?

රාජ්‍ය සේවයේ සිටින්නේ ඊට සුදුස්සන් නොවන බව බොහෝ දෙනා දරන මතයකි. එය බොහෝ විට තීරණය වන්නේ රාජ්‍ය සේවය පිළිබඳව ඒ ඒ අයගේ අත්දැකීම් අනුව බව සැබෑය. බොහෝ දෙනාට අමිහිරි අත්දැකීම් ඇති නිසා රාජ්‍ය සේවයේ සිටින්නේ නුසුදුස්සන් බව පොදුවේ සිතනවා විය යුතුය. මෙසේ රාජ්‍ය සේවයට නුසුදුස්සන් පැමිණියේ කෙසේද? නැත්නම් පැමිණ නුසුදුස්සන් වුණාද?

ආයතන සංග්‍රහයේ දෙවන (ii) පරිච්ඡේදයේ හත්වන (7) වගන්තිය මගින් ‘රාජ්‍ය සේවයට පත්කිරීම පිළිබඳ නුසුදුසුකම්’ පැහැදිලව දක්වා ඇත. ඊට අමතරව 2009 පෙබරවාරී මස 20 දින නිකුත් කරන ලද අංක 1589/30 දරන ගැසට් පත්‍රයේ පළ කළ ‘රාජ්‍ය සේවා කොමිෂන් සභා - කාර්ය පටිපාටික රීති’ සංග්‍රයේ පස්වන (v) පරි‍ච්ඡේදය මගින්ද මේ ආකාරයටම ‘රජයේ සේවයට පත් කරනු ලැබීමට නුසුදුසු තැනැත්තන්’ පිළිබඳව දක්වා ඇත.

ඒවාට අනුව;
  1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට විරුද්ධව සිදුකරන ලද සාපරාධී වරදකට වැරදිකරු වූ අයෙකුට
  2. අපරාධ නඩුවකට වරදකරු වූ ‍අයෙකුට
  3. වස්තු භංගත්වයට පත් වූ තැනැත්තෙකුට
  4. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන තැනැත්තෙකුට (ආයතන සංග්‍රයහට අනුව, යම් අමාත්‍යවරයෙකුට කිසියම් තනතුරක් සඳහා පුරවැසියෙකු නොවන තැනැත්තෙකු පත් කළ යුතුයැයි සිතේනම් රාජ්‍ය පරිපාලන අමාත්‍ය වරයාගේ එකඟතාවය ඇතිව පත් කිරීමේ අවස්ථාව ඇත)
  5. රාජ්‍ය සේවයේ යෙදී සිටියදී ඇති වූ තත්වයන් මත නැවත රාජ්‍ය සේවයට පත් වීමට නොහැකිවන පරිදි අසාධු ලේඛණ ගත වූ, එනම්;
    1. රාජ්‍ය සේවයෙන් පහකළ අයට
    2. පරිවාස කාලය තුළදී යම් විෂමාචාර ක්‍රියාවක් නිසා සේවය අවසන් කළ අයට
    3. විධිමත් විනය පරීක්‍ෂණයක් මත සේවයෙන් පහකළ අයට
    4. සේවයෙන් පහ කිරීම වෙනුවට විශ්‍රාම ගැන්වූ අයට
    5. අකාර්යක්‍ෂමතාවය නිසා අනිවාර්ය විශ්‍රාම ගැන්වූ අයට

රාජ්‍ය සේවයේ තනතුරක් දැරීමට නොහැකිය. එසේම, උප්පැන්න, මරණ හා විවාහ ලියාපදිංචිකරුවන් වැනි තනතුරක් දරන පුද්ගලයෙකුට තමන්ට පත්වීම දුන් බලධරයා නොවිමසා වෙනත් තනතුරක් දැරිය නොහැකිය.

මේ අනුව සලකා බැලීමේදී පෙනී යන්නේ රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ කාර්යාවලියේදී නම් කිසිම ලෙසකින් නුසුදුසු අයෙකු බඳවා ගැනීමට නොහැකි බවයි. එසේ නැත්නම් ඉහත සඳහන් කළ පරිදි රාජ්‍ය සේවයේ සිටින්නන් නුසුදුස්සන් ලෙස බහුතරයකට සිතීමට හේතුවන කාරණා මෙම විධි විධාන මගින් ආවරණය නොවන බවයි. කෙසේ වුවද මෙයට හේතු විය හැක්කේ, හැම දෙනාම බලාපොරොත්තුවන ගුණාංග ඇගයීම ප්‍රායෝගිකව කළ නොහැකි නිසා ඒවා මෙම විධි-විධානයන්ට ඇතුළත් කර නොමැති වීමයි.
එසේ නොවේනම්, බඳවා ගැනීමෙන් අනතුරුව ඇති වන්නා වූ තත්වයන් නිසා ක්‍රමිකව නුසුදුස්සන් බවට පත් වනවා විය හැකිය.

‍කෙසේ වුවත් ‘බෑ පොත’ ලෙස හැඳින් වෙන ආයතන සංග්‍රහය හෝ ඊට සමගාමීව හඳුන්වා දී ඇති රාජ්‍ය සේවා කොමිෂන් සභා - පරිපාටික රීති මගින් රාජ්‍ය සේවයට බඳවා ගැනීම තදින් අහුරා නොමැති බව මෙයින් පෙනී යයි. එනම් එය ‘බෑ පොතකට’ වඩා ‘හා පොතක්’ බවයි.


මෙහිදී සඳහන් කළ යුතු තවත් එක් කරුණක් ඇත. ඉහත දැක්වූ පරිදි, අදාල කරුණු සඳහා වැරදිකරුවෙකු වීම, රාජ්‍ය සේවයේ යෙදී සිටියදී ‘අසාධු ලේඛණයට’ ඇතුළත් වීම ආදී කරුණු ඇගයීමට තරම් ප්‍රමාණවත් තොරතුරු අදාල ආයතන වෙත ලැබෙනවාද යන වග සැක සහිතය. එබැවින් රජය විසින් කළ යුත්තේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ පහසුකම් යොදා ගනිමින් අදාල තොරතුරු යාවත්කාලීනව හා නිවැරදිව අවශ්‍ය සෑම අධිකාරියක් වෙතටම ලබා දීමට කටයුතු කිරීමයි. 

රජයේ ලෙඩ්ඩුන්ට විශේෂ අනුග්‍රහ....!

රාජ්‍ය සේවයේ නියුතු සෑම දෙනාම ‘ලෙඩ්ඩු’ ලෙස සලකන සමහරුන් සිටියත් හැමෝම ‘ලෙඩ්ඩු’ නොවන බව දන්නා අය ද සිටීම රාජ්‍ය සේවයේ නියුතු අයගේ වාසනාවයි. කෙසේ වෙතත් ලෙඩ්ඩු වුවද නොවුවද සමහර ලෙඩ වැළඳුනු අයට නිරෝගී අයට වඩා අනුග්‍රහ තිබෙන බව දන්නේ ඉනුත් කිහිප දෙනෙකු පමණක් වීම ලොකුම වාසනාවයි.

අයතන සංග්‍රහයේ විසිතුන්වන (xxii) පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම වෙන් කර ඇත්තේ මෙම අනුග්‍රහ පිළිබඳව දැනුවත් කිරීම සඳහායි. එම පරිච්ඡේදය නම් කර ඇත්තේම ‘ඇතැම් වර්ගවල ලෙඩ රෝගවලින් පෙලෙන රජයේ නිලධාරීන්ට විශේෂ අනුග්‍රහ සහ ඒ පිළිබඳ කොන්දේසි’ යනුවෙනි.

කෙසේ වුවත් විශේෂයෙන් තේරුම් ගත යුතු කාරණය වන්නේ මෙම අනුග්‍රහ හිමි වන්නේ ‘සමහර’ ලෙඩ-රෝග සඳහා පමණක් බවයි. එනම්;

  1. ක්‍ෂය රෝගය 
  2. ලාදුරු රෝගය 
  3. පිළිකා රෝගය යන රෝග සඳහා පමණි. 

රජ්‍ය සේවයේ නියුක්තිකයින් ද ඇතුළුව බහුතරයකට වැළ‍ඳෙන බොහෝ රෝග මීට ඇතුළත් වී නොමැත්තේ, ආයතන සංග්‍රය සම්පාදනය කළ කාලයේ වඩාත් පැතිරී තිබූ හා රාජ්‍ය සේවයට වැඩි බලපෑමක් ඇති කළ රෝගාබාධ මේවා පමණක් වීම නිසා විය හැකිය. මේ වන විට ලැදුරු රෝගය වැළඳීමට ඇති අවස්ථා ඉතා අවම වීම, පිළිකා රෝගී තත්වයන් බහුල වීම, මෙම රෝග ත්‍රිත්වය පමණටම සැලකිල්ලට භාජනය කළ යුතු තවත් රෝගී තත්වයන් ඇති වී තිබීම වැනි හේතු කාරණා සැලකිල්ලට ගනිමින් මෙම වගන්තිය සංශෝධය කළ යුතුව ඇත.

රජය විසින් මෙසේ ලබා දෙනු ලබන අනුග්‍රහ ලබා ගැනීමට නම් මතු කියවෙන සුදුසුකම් සපුරා තිබිය යුතුය.

  1. රාජ්‍ය සේවයේ නියුතු ස්ථිර නිලධාරියෙකු විය යුතුය. 
  2. තාවකාලිකව සේවයේ නියුක්ත වූයෙක් නම්, අවම වශයෙන් එක් අවුරුද්දක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුය. (තාවකාලික සේවය යනු, යම් ආයතනයක අරමුණු ඉටු කර ගැනීම සඳහා සැලසුම් කළ තනතුරුවලට අමතරව, තාවකාලිකව අවශ්‍යවන වෙනත් කාර්යයන් ඉටු කිරීම සඳහා බඳවා ගනු ලැබීමයි.) 
  3. අනියම්ව සේවයේ නියුක්ත වූවෙක් නම්, එක් අවුරුදු අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුය. (අනියම් සේවය යනු, ස්ථිර තනතුරක කාර්යයන් ආවරණය කිරීම සඳහා බඳවා ගනු ලැබීමයි.) 
  4. ක්‍ෂය රෝගය හෝ ලාදුරු රෝගය හෝ පිළිකා රෝගය වැළඳී, සුවය ලැබෙන බවට විශ්වාස කළ හැකියැයි වෛද්‍ය මණ්ඩලයක් විසින් තීරණය කළ යුතුය. 
  5. රාජ්‍ය සේවයේ නියුතු අදාල රෝගියා, වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කරන ප්‍රතිකාර ලබා ගත යුතුය. 
  6. වැළඳී ඇත්තේ ක්‍ෂය රෝගය නම් ප්‍රතිකාර ලබා ගත යුත්තේ ‘සුඛාගාරයක’ නේවාසිකවය. සුඛාගාරයක් නොවේනම් ප්‍රාදේශීය රෝහලක ක්‍ෂය රෝග වාට්ටුවකය. ප්‍රාදේශීය රෝහලේ ක්‍ෂය රෝග වාට්ටුවක් නොමැති නම් වෙන කරන්නට දෙයක් නැත; එහි සිට හෝ ප්‍රතිකාර ගත හැකිය. ප්‍රාදේශීය රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව අහිමි වන අවස්ථාවකදී නිවසේ සිට ප්‍රතිකාර ලබා ගැනීම අනුමත කරනු ලැබිය යුතු වුවද, ප්‍රතිකාර ලැබිය යුත්තේ ක්‍ෂය රෝග විශේෂඥයෙකුගේ උපදෙස් මතය. එවැනි විශේෂඥයෙකුගේ සේවය ලබා ගැනීමට නොහැකි වන අවස්ථාවකදී ‘සුදුසුකම් ලැබූ’ වෛද්‍ය නිලධාරියෙකුගේ හෝ උපදෙස් ලබා ගත යුතුය. 

මෙම නියමයන් පනවා තිබෙන්නේ ආයතන සංග්‍රය සම්පාදනය කළ කාලයේ ක්‍ෂය රෝගය පිළිබඳව තිබුණා වූ මතවාදයන් නිසා වන්නට ඇත. වර්තමාණය වනවිට ක්‍ෂය රෝගය පිළිබඳව ඇති සැබෑ තත්වයන් අනුව මෙම නිමයන් සංශෝධනය කිරීම වඩාත් සුදුසු වේ.

සඳහන් කළ රෝග ත්‍රිත්වය සඳහා අනුග්‍රහ හිමි වන්නේ වෙන-වෙනස් ආකාරයටය.
එනම්;

  1. ක්‍ෂය රෝගය සඳහා:- පළමුවෙන්ම එම වර්ෂය තුළ තමන්ට හිමි නිවාඩුවලින් පඩි සහිත නිවාඩු ලබා ගත් පසුව තවත් මාස හතරක (4) කාලයක් සඳහා පඩි සහිත නිවාඩු හිමි වේ. (2009 ට පෙර මේ නිවාඩු ප්‍රමාණය මාස නවයක් (9) වුවද, ක්‍ෂය රෝගය සඳහා වූ ප්‍රතිකාර ක්‍රම වෙනස් වීම හේතුවෙන් - හෝ වෙනත් හේතුවක් නිසා හෝ මෙම කාලය මෙලෙස මාස හතරක් දක්වා අඩු කර ඇත.) එම මාස හතරේ නිවාඩුවෙන් වසර හතරක (4) පසුව තවත් මාස හතරක (4) කාලයක් පමණක් පඩි සහිත නිවාඩු ලබා ගත හැකිය. ක්‍ෂය රෝගී තත්වය සුව වී සේවයට වාර්තා කිරීමෙන් පසුව මාස තුනකට වරක් තමන්ව පරීක්‍ෂා කරවා ගැනීම සඳහා රාජකාරී නිවාඩු හා නිදහස් දුම්රිය බලපත්‍ර යන අනුග්‍රහයන්ද හිමිය. 
  2. ලාදුරු රෝගය:- පළමුවෙන්ම එම වර්ෂය තුළ තමන්ට හිමි නිවාඩුවලින් පඩි සහිත නිවාඩු ලබා ගත් පසුව තවත් මාස විසිදෙකක (22) කාලයක් සඳහා පඩි සහිත නිවාඩු හිමි වේ. 
  3. පිළිකා රෝගය:- පළමුවෙන්ම එම වර්ෂය තුළ තමන්ට හිමි නිවාඩුවලින් පඩි සහිත නිවාඩු ලබා ගත් පසුව තවත් මාස හයක (6) කාලයක් සඳහා පඩි සහිත නිවාඩු හිමි වේ. 
මෙලෙස රෝගී තත්වයන් හේතුවෙන් හිමිවන අනුග්‍රහ නිවාඩු ලබා ගැනීමෙන් පසුව නැවත රාජකාරී ඉටු කිරීමට නම්, රෝගය සුව වී ඇති බවට හෝ සුවය ලැබීමට ‘සෑහෙන ප්‍රමාණයක ඉඩක්’ ඇති බවට වෛද්‍ය මණ්ඩල සහතිකයක් හෝ වෛද්‍ය සහතිකයක් හෝ මගින් සනාථ කළ යුතුය.
එසේ සනාථ කිරීමට නොහැකි වූ අවස්ථාවකදී;

  1. ලබා දුන් නිවාඩු අවසන් වූ වර්ෂය සඳහා හිමි පුද්ගලික නිවාඩු ලබා ගෙන අදාල පරිදි සුවය ලබා ගත යුතුය. 
  2. එම පඩි සහිත නිවාඩු අවසන් වනවිට රාජ්‍ය සේවයේ නියුතු වූවන්ට විවිධ හේතූන් සඳහා නිවාඩු ලබා දෙන්නා වූ ක්‍රම අනුගමනය කරමින් අඩ වැටුප් සහිත නිවාඩු ද ලබා ගෙන සුවය ලබා ගත යුතුය. 
  3. ඒ සියල්ල අවසන් වන විටදී ද අදාල පරිදි සුවය ලබා නොමැතිනම්, පඩි රහිත නිවාඩු ලබා ගත යුතුය. එසේ වුවද පඩි රහිත නිවාඩු අනුමත කිරීමේදී රැකියාවට හා ආදාල පුද්ගලයාට වඩාත් යහපතක් සිදු වන්නේ හා යුක්ති සහගත වන්නේ පඩි රහිත නිවාඩු ලබා දීමද, ‘සෞඛ්‍ය හේතු මත විශ්‍රාම ගැන්වීම’ද යන බව වෛද්‍ය මණ්ඩලයක නිර්දේශ මත තීන්දු කරනු ඇත. 
මෙලෙස රෝගී වී සුවපත්ව සේවයට පැමිණෙන අය සඳහා සැහැල්ලු රාජකාරී පමණක් කිරීමට අවස්ථාව ලැබීමේ අනුග්‍රහය හා සුවදායක දේශගුණයක් සහිත ස්ථානයක සේවය කිරීමේ අනුග්‍රහයද හිමි වේ. මේ සියල්ලටම අමතරව සුවපත් වූ රාජ්‍ය සේවයේ නියුක්තිකයාට ඔහුගේ දිවි පෙවතට අදාල වන තරමින් පුනරුත්ථාපනය වීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානියගේ උපකාර ලබා ගැනීමේ අනුග්‍රහයද හිමි වේ.

මේ ආකාරයට කරුණු තේරුම් ගැනීමේදී අපට පෙනී යන්නේ ‘බෑ පොත’ ලෙස ගැරහීමට ලක්ව ඇති ආයතන සංග්‍රහය, සමහරුන් සිහිනෙකින්වත් නොසිතන දේ පවා සිදු කරන ආකාරය පහදා දෙන ‘හා පොතක්’ බවයි. එසේ වුවද එහි ඇති විධි-විධාන කාලානුරූපීව වෙනස් වීම ප්‍රශස්ථ මට්ටමින් සිදු වී නොමැති බවද පිළිගත යුතුය.

මීට දශක ගණනාවකට පෙර තිබූ තාක්‍ෂණික පහසුකම් මත සිටිමින් නිර්මාණය වූ රාජ්‍ය සේවයේ කාර්යයන් සඳහා අද තිබෙන තාක්‍ෂණය යොදා ගන්නේ නම් ඉහත සාකච්ඡා කළ කාරණය වැනි අවස්ථා සඳහා මීට වඩා පහසු හා ලාබදායී (කාර්යක්‍ෂම හා ඵලදායී) ආකාරයකට කටයුතු කළ හැකි බව සඳහන් කළ යුතුය. උදාහරණයක් ලෙස රජය විසින් ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව මධ්‍යගත තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යන්නේ නම් හා, ඉන් යම් යම් තොරතුරු ලබා ගැනීම සඳහා වරප්‍රසාද අදාල අධිකාරීන් වෙත ලබා දෙන්නේ නම් දෙපාර්තමේන්තු ප්‍රධානියාට ‘වෛද්‍ය මණ්ඩල’ පත් කිරීමේ හෝ නිර්දේශ විමසා සිටිමේ අවශ්‍යතාවයක් පැන නොනගී.