Saturday, 2 August 2014

රාජ්‍ය සේවයේ ඉන්නේ නුසුදුස්සන්ද....?

රාජ්‍ය සේවයේ සිටින්නේ ඊට සුදුස්සන් නොවන බව බොහෝ දෙනා දරන මතයකි. එය බොහෝ විට තීරණය වන්නේ රාජ්‍ය සේවය පිළිබඳව ඒ ඒ අයගේ අත්දැකීම් අනුව බව සැබෑය. බොහෝ දෙනාට අමිහිරි අත්දැකීම් ඇති නිසා රාජ්‍ය සේවයේ සිටින්නේ නුසුදුස්සන් බව පොදුවේ සිතනවා විය යුතුය. මෙසේ රාජ්‍ය සේවයට නුසුදුස්සන් පැමිණියේ කෙසේද? නැත්නම් පැමිණ නුසුදුස්සන් වුණාද?

ආයතන සංග්‍රහයේ දෙවන (ii) පරිච්ඡේදයේ හත්වන (7) වගන්තිය මගින් ‘රාජ්‍ය සේවයට පත්කිරීම පිළිබඳ නුසුදුසුකම්’ පැහැදිලව දක්වා ඇත. ඊට අමතරව 2009 පෙබරවාරී මස 20 දින නිකුත් කරන ලද අංක 1589/30 දරන ගැසට් පත්‍රයේ පළ කළ ‘රාජ්‍ය සේවා කොමිෂන් සභා - කාර්ය පටිපාටික රීති’ සංග්‍රයේ පස්වන (v) පරි‍ච්ඡේදය මගින්ද මේ ආකාරයටම ‘රජයේ සේවයට පත් කරනු ලැබීමට නුසුදුසු තැනැත්තන්’ පිළිබඳව දක්වා ඇත.

ඒවාට අනුව;
  1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට විරුද්ධව සිදුකරන ලද සාපරාධී වරදකට වැරදිකරු වූ අයෙකුට
  2. අපරාධ නඩුවකට වරදකරු වූ ‍අයෙකුට
  3. වස්තු භංගත්වයට පත් වූ තැනැත්තෙකුට
  4. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන තැනැත්තෙකුට (ආයතන සංග්‍රයහට අනුව, යම් අමාත්‍යවරයෙකුට කිසියම් තනතුරක් සඳහා පුරවැසියෙකු නොවන තැනැත්තෙකු පත් කළ යුතුයැයි සිතේනම් රාජ්‍ය පරිපාලන අමාත්‍ය වරයාගේ එකඟතාවය ඇතිව පත් කිරීමේ අවස්ථාව ඇත)
  5. රාජ්‍ය සේවයේ යෙදී සිටියදී ඇති වූ තත්වයන් මත නැවත රාජ්‍ය සේවයට පත් වීමට නොහැකිවන පරිදි අසාධු ලේඛණ ගත වූ, එනම්;
    1. රාජ්‍ය සේවයෙන් පහකළ අයට
    2. පරිවාස කාලය තුළදී යම් විෂමාචාර ක්‍රියාවක් නිසා සේවය අවසන් කළ අයට
    3. විධිමත් විනය පරීක්‍ෂණයක් මත සේවයෙන් පහකළ අයට
    4. සේවයෙන් පහ කිරීම වෙනුවට විශ්‍රාම ගැන්වූ අයට
    5. අකාර්යක්‍ෂමතාවය නිසා අනිවාර්ය විශ්‍රාම ගැන්වූ අයට

රාජ්‍ය සේවයේ තනතුරක් දැරීමට නොහැකිය. එසේම, උප්පැන්න, මරණ හා විවාහ ලියාපදිංචිකරුවන් වැනි තනතුරක් දරන පුද්ගලයෙකුට තමන්ට පත්වීම දුන් බලධරයා නොවිමසා වෙනත් තනතුරක් දැරිය නොහැකිය.

මේ අනුව සලකා බැලීමේදී පෙනී යන්නේ රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ කාර්යාවලියේදී නම් කිසිම ලෙසකින් නුසුදුසු අයෙකු බඳවා ගැනීමට නොහැකි බවයි. එසේ නැත්නම් ඉහත සඳහන් කළ පරිදි රාජ්‍ය සේවයේ සිටින්නන් නුසුදුස්සන් ලෙස බහුතරයකට සිතීමට හේතුවන කාරණා මෙම විධි විධාන මගින් ආවරණය නොවන බවයි. කෙසේ වුවද මෙයට හේතු විය හැක්කේ, හැම දෙනාම බලාපොරොත්තුවන ගුණාංග ඇගයීම ප්‍රායෝගිකව කළ නොහැකි නිසා ඒවා මෙම විධි-විධානයන්ට ඇතුළත් කර නොමැති වීමයි.
එසේ නොවේනම්, බඳවා ගැනීමෙන් අනතුරුව ඇති වන්නා වූ තත්වයන් නිසා ක්‍රමිකව නුසුදුස්සන් බවට පත් වනවා විය හැකිය.

‍කෙසේ වුවත් ‘බෑ පොත’ ලෙස හැඳින් වෙන ආයතන සංග්‍රහය හෝ ඊට සමගාමීව හඳුන්වා දී ඇති රාජ්‍ය සේවා කොමිෂන් සභා - පරිපාටික රීති මගින් රාජ්‍ය සේවයට බඳවා ගැනීම තදින් අහුරා නොමැති බව මෙයින් පෙනී යයි. එනම් එය ‘බෑ පොතකට’ වඩා ‘හා පොතක්’ බවයි.


මෙහිදී සඳහන් කළ යුතු තවත් එක් කරුණක් ඇත. ඉහත දැක්වූ පරිදි, අදාල කරුණු සඳහා වැරදිකරුවෙකු වීම, රාජ්‍ය සේවයේ යෙදී සිටියදී ‘අසාධු ලේඛණයට’ ඇතුළත් වීම ආදී කරුණු ඇගයීමට තරම් ප්‍රමාණවත් තොරතුරු අදාල ආයතන වෙත ලැබෙනවාද යන වග සැක සහිතය. එබැවින් රජය විසින් කළ යුත්තේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ පහසුකම් යොදා ගනිමින් අදාල තොරතුරු යාවත්කාලීනව හා නිවැරදිව අවශ්‍ය සෑම අධිකාරියක් වෙතටම ලබා දීමට කටයුතු කිරීමයි. 

No comments:

Post a Comment